බුරුමය පුරා වේගයෙන් පැතිරෙන
බෞද්ධ ජාතිකවාදය

පසුගිය මැයි මාසයේදී(2017 මැයි) බුරුමයේ ඉහළම සංඝ සභාව එනම් සංඝ මහා නායක කමිටුව විශේෂ නිවේදනයක්‌ සිදු කළේය. ඒ මාබාතා සංවිධානයට එරෙහිවය.අශ්වින් විරාතු හිමියන් නායකත්වය හොබවන මෙම සංවිධානයට එරට ඉහළම සංඝ කමිටුව දැනුම් දුන්නේ රට පුරා ඔවුන් විසින් ප්‍රදර්ශනයට තබා ඇති පුවරු ඉවත් කරන ලෙසයි.
මහානායක කමිටුව මෙම නිවේදනය නිකුත් කරනු ලැබුවේ අවුන්සාන් සුකී ආණ්‌ඩුවේ බලපෑම මතය. සංඝ මහා නායක කමිටුව ප්‍රකාශ කරන්නේ මාබාතා සංවිධානය බෞද්ධ ඉගැන්වීම්වලට එරෙහිව කටයුතු කරන බවයි.

බුරුමය පුරා විසිර ඇති මාබාතා සංවිධානයේ විහාරස්‌ථාන හා අනුගාමිකයන් සංඝ නායක කමිටුවේ නිවේදනය පිළිගත්තද මැන්ඩලේ නගරයේ හා කරේන් පළාතේ අගනුවර වන පාත් හි මේ නියෝගය හිතමතාම කඩ කරනු ලැබිණි. එහි විරාතු හිමියන්ගේ අනුගාමිකයෝ සංවිධානයේ දැන්වීම් පුවරුව ඉවත් කරනවා වෙනුවට වඩාත් දර්ශනීය පුවරුවක්‌ එහි සවිකිරීමට තරම් එඩිතර විය.

පාත් හි තයෙව්ටව් විහාරය වෙත පැමිණි කරෙන් බෞද්ධයෝ සංඝ නායක කමිටුවේ නිවේදනයට විරෝධය පළ කරමින් මාබාතා සංවිධානයට සිය සහයෝගයට පැමිණි එක්‌ තරුණ කාන්තාවක්‌ ප්‍රකාශ කර සිටියේ තමන් බුදු සමයේ ආරක්‌ෂාව වෙනුවෙන් මෙහි පැමිණි බවයි.

burma buddhists
කරෙන් පළාතේ අශ්වින් විරාතු හිමියන් බෙහෙවින් ජනප්‍රිය වී ඇත. සම්ප්‍රදායික ඇඳුමින් සැරසුණු කරෙන් තරුණියක්‌ රතු පැහැතින් ලියූ උද්ඝෝෂණ පුවරුවක්‌ රැගෙන සිටින අයුරු මුහුණු පොතෙහි සංසරණ විය. එහි සටහන්ව තිබුණේ විරාතු හිමියනි අපි ඔබට ආදරෙයි යනුවෙනි. එමෙන්ම තවත් ඡායාරූපයක දැක්‌වූයේ විරාතු හිමියන් සිංහාසනයක්‌ වැනි අසුනක වාඩි වී සිටියදී උන්වහන්සේ වටා සන්නද්ධ කරෙන් දේශසීමා ආරක්‌ෂක භටයන් රැසක්‌ රැස්‌ව සිටින ආකාරය ය. එහි බෞද්ධ කොඩිද හොඳින් දක්‌නට තිබිණි.

බුරුම මහා නායක කමිටුවේ නිවේදන හරහා විරාතු හිමියන්ගේ සංවිධානය අඩපණ වනු ඇතැයි සමහරු බලාපොරොත්තු වූවත් එය වඩා ශක්‌තිමත්ව පැතිරෙමින් තිබෙන බව පැහැදිලි යෑයි බුරුම බෞද්ධ ජාතිකවාදය පිළිබඳ ලිපියක්‌ ලියන ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ බුරුම පර්යේෂණ අංශයේ සහකාර අධ්‍යක්‍ෂ ජස්‌ටින් චෙම්බර් සටහන් කරයි.

සුකීගේ ආණ්‌ඩුව සම්බන්ධයෙන් අශ්වින් විරාතු හිමියන් මෙන්ම මාබාතා සංවිධානයද කිසිම කැමැත්තක්‌ දක්‌වන්නේ නැත. අශ්වින් විරාතු හිමියන් පසුගියදා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියේ සුකීගේ ආණ්‌ඩුව වහා ඉල්ලා අස්‌විය යුතු බවයි. මෙරට ජාතිවාදින් හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සම්බන්ධයෙන් කවර මතයක්‌ දරයිද? ඒ හා සමාන මතය බුරුම ජාතිකවාදින් ද සුකී කෙරෙහි දක්‌වන බව පැහැදිලිය.

කරෙන් ප්‍රාන්තයේ මාබාතා සංවිධානයේ ක්‍රියාකාරකම් බහුලය. විහාරස්‌ථාන ආශ්‍රිතව විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. ආධාර බෙදීම් ගැබිනි මවුවරුන් සඳහා විශේෂ සායන ලේ දන්දීමේ වැඩසටහන් මෙන්ම පාසල් සංවර්ධන කටයුතුද මොවුනගේ ක්‍රියාකාරකම් අතර වේ.

බෞද්ධයන්ගේ සමාජ තත්ත්වයන් ආර්ථික තත්ත්වයන්ද නගා සිටුවීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට විරාතු හිමියන්ගේ අනුගාමිකයෝ කටයුතු කරති.

කරෙන් සටන්කාමීන් හා බුරුම හමුදාව අතර කාලයක්‌ තිස්‌සේ සිවිල් යුද්ධයක්‌ පැවතිණි. 90 දශකයේදී පාත් දිස්‌ත්‍රික්‌කය බෞද්ධ වන්දනාකරුවන්ගේ ප්‍රධාන මධ්‍යස්‌ථානයක්‌ විය. ඒ එරට බෙහෙවින් ගෞරවාදරයට පාත්‍රවූ මහාථෙර නමක්‌වූ යූ. විනය හිමියෝ වැඩ වාසය කළේ මේ දිස්‌ත්‍රික්‌කයට අයත් තමන්යා කන්දේවීම නිසාය. විනය හිමියෝ 2003 දී අභාවප්‍රාප්ත වූහ. විනය හිමියන්ගේ ගෝලයකු වන යූ. තුසානා හිමියන් වර්තමානයේ පළාතේ ප්‍රමුඛ චරිතයක්‌ වෙයි. වඩා වැදගත් වන්නේ තුසානා හිමියන් හා අශ්වින් විරාතු හිමියන් අතර ගොඩ නැගී ඇති සබඳතාවයයි.

1994 දී තුසානා හිමියන්ගේ යටතේ කරෙන් බෞද්ධ සටන්කාමීහු කරෙන් ජාතික සංගමයෙන් ඉවත්ව ප්‍රජාතන්ත්‍රවාදී බෞද්ධ කරෙන් හමුදාව පිහිටුවා ගත්හ. කරෙන් ජාතික සංගමයේ ක්‍රිස්‌තියානි නායකත්වය ගැන බෞද්ධ සටන්කාමීහු කලකිරීමෙන් සිටීම මේ බෙදීමට මූලික හේතුව විය. මේ බෞද්ධ හමුදාව රජය සමග සාම ගිවිසුමක්‌ අත්සන් කර රජයේ හමුදාව සමඟ එක්‌වී කරෙන් ක්‍රිස්‌තියානි හමුදාවට එරෙහිව සටන් වැදිනි. යු. තුසානා හිමියන්ගේ මූලික අරමුණ වන්නේ කරෙන් පළාත තනි බෞද්ධ දේශයක්‌ බවට පත් කිරීමයි. 2016 දී බුරුම රජයේ හමුදාව මෙම කරෙන් බෞද්ධ හමුදාව බුරුම දේශසීමා ආරක්‌ෂක බලකාය බවට පත්කෙරිණි. ඉහතදී සඳහන් කළ විරාතු හිමියන් වටා සිටින ආරක්‌ෂකයන් වන්නේද මොවුන්ය.

2016 තුසානා හිමියන් හා මාබාතා සංවිධානය අතර ගිවිසුමක්‌ද අත්සන් කෙරිණි. තුසානා හිමියන්ද සිය ධර්ම දේශනා මගින් මුස්‌ලිම් ව්‍යාප්තිවාදය ගැන අනතුරු අඟවන අතර මේ නව ආගමික ව්‍යාපාරය සුකීගේ ආණ්‌ඩුවටද තර්ජනයක්‌ වී තිබේ.

බුරුමය තුළ වේගයෙන් පැතිරෙන බෞද්ධ ජාතිකවාදය හමුවේ සුකීගේ ආණ්‌ඩුව කවර පියවරක්‌ ගනීද යන්න අපට පැහැදිලි නැත. කවරක්‌ වෙතත් ථෙරවාදි බෞද්ධ ලෝකයේ ආරක්‌ෂාව වෙනුවෙන් විරාතු හිමියන් නගන හඬ අපට ඉතා වැදගත්ය. එනිසාම බුරුමයේ බෞද්ධ ක්‍රියාකාරිත්වය ගැන මෙරට සිංහල බෞද්ධයන් දැනුවත් වීම ඉතා වැදගත්ය.

-දිවයින
Related Posts:

Visitor Counter

Short News

Hot Posts

Social