Muhudu Maha Viharaya
මුහුදු මහා විහාරයේ 
ඉඩම් කොල්ලය තවමත් ඉවර නැත

මුහුදු මහා විහාරය පිහිටා ඇත්තේ සුන්දර ආරුගම්බේ වෙරළ තීරයට මඳක්‌ නුදුරෙනි. වසර සිය දහස්‌ ගණනක අතීත උරුමයන් රැසක්‌ මෙම පොළෝ තලයේ තවමත් යටව ඇත. නිමක්‌ නැති බාධක කම්කටොලු මැද මෙම පුදබිම අදට ද අතිත උරුමයේ
අරුමය ලොවට කියාපායි.
අම්පාර දිස්‌ත්‍රික්‌කයේ පොතුවිල නගර මධ්‍යයේ පිහිටා ඇති මෙම පුදබිමට මොණරාගල නගරය හරහා සියඹලාණ්‌ඩුව ලාහුගල මාර්ගය ඔස්‌සේ යා හැකිය. එසේ නැතිනම් අම්පාර අක්‌කරපත්තු මාර්ගය හරහා හෝ කල්මුනේ අක්‌කරපත්තුව මාර්ගයෙන්ද යා හැකිය.

කැලණිතිස්‌ස රජ සමයේ මුහුද ගොඩගැලීම නිසා මුහුදට පා කර යෑවූ විහාර මහා දේවිය ගොඩබැස්‌සේ මෙම මුහුදු මහා විහාරයට බව ජනප්‍රවාදයේ සඳහන්ව ඇත. සුන්දර කුමරියක්‌ නැවකින් වෙරළට ගොඩබැස ඇති බව දැනගත් කාවන්තිස්‌ස රජු මෙම ස්‌ථානයට පැමිණෙන විට කෝ කුමාරි යන පුවත ඇසූ ස්‌ථානය කෝමාරිය වූ බවද පැවසේ. එවිට සේවකයෝ කාවන්තිස්‌ස රජුට අර ගමේ යෑයි පැවසු ස්‌ථානය පසු කාලයේ ආරුගම් ප්‍රදේශය වූ බවත් ආරුගම් ප්‍රදේශයේ මුහුදු ප්‍රදේශයට බොක්‌ක යනුවෙන් කියවන අතර එයට ඉංග්‍රීසි බසින් බේ යන වචනය එකතු වීමත් සමඟ ආරුගම් ප්‍රදේශය ආරුගම්බේ බවට පත්වූ බවත් ජනප්‍රවාදයේ කියවේ.

මෙම පුදබිමට අක්‌කර 264 ක්‌ මුල් කාලයේ තිබී ඇති අතර ඒ අවට අතීතයේ සිට පැවති පුරා වස්‌තූන් රැසක්‌ විසිරී පැවතුණි. නමුත් අවට පදිංචි පොතුවිල නගර වාසීන්ගේ දැඩි කරදර බාධක සහ ආක්‍රමණය නිසා මෙම පුදබිම ඉඩම දිනෙන් දින අඩු වන්නට විය. සංවිධානාත්මක පිරිසකගේ මෙම ආක්‍රමණය නිසාත් 1965 ගැසට්‌ නිවේදනයට පින් සිදු වන්නට මෙම භුමියෙන් ඉතිරි වූයේ අක්‌කර 30 ක්‌ පමණි. ඉතිරි අක්‌කර 234 ක්‌ම අවට ප්‍රදේශවාසීන් විසින් අත්පත් කරගෙන ඇත.

එතැන් සිට මේ වන තෙක්‌ ගතවූ කාලය තුළ මෙම මුහුදු මහා විහාරයේ ඉඩම් කොල්ලය ජයටම යන්නට විය. ඒ ආක්‍රමණය නිසා මේ වන විට මෙම පුදබිමට ඉතිරිව ඇත්තේ අක්‌කර 03 ක්‌ පමණි. එයින්ද මේ වන විටත් මෙම අක්‌කර තුනක භුමියෙන් කොටසක්‌ ද අල්ලා ගන්නට පිරිසක්‌ කටයුතු කරමින් සිටිති. මෙම පුදබිමේ ඉදි කරන ලද දාගැබ ආසන්නයේ මේ වන විටත් වැටක්‌ ගසමින් තවත් බිම් තීරුවත් ඇතැම් පුද්ගලයන් විසින් අල්ලා සංවර්ධනය කරමින් සිටිති. ඒ දාගැබට අඩි තිහ හතළිහක්‌ දුරකිනි. මේ ආකාරයේ එම ඉඩම හාරා සංවර්ධනය කිරීම තුළ ඉදිරියේදී මෙම මුහුදු මහා විහාරයේ දාගැබට හානියක්‌ වීමටද ඉඩ ඇත. නමුත් මේ සියල්ලම වෙද්දී බලධාරීන් නිහඬය.

පසුගිය සමයේ මෙම පුද බිමට එන මාර්ගය දැනගැනීම සඳහා ප්‍රධාන මාර්ගය ආසන්නයේ ගසා තිබුණු නාම පුවරුව නිතර දෙවේලේ අන්තවාදී පිරිස්‌ කඩා දමන ලදී. ඇතැම් සමයක මෙම පුදබිමේ බෞද්ධ කොඩියක්‌වත් දමන්නට නොහැකිව තිබුණි. ඒ සියල්ලම අන්තවාදීන් ගලවා විනාශ කරන ලදී. ඒ නිසා මෙම පුදබිමේ වැඩවාසය කරන ලද හිමිවරුන් තහඩුවක අඳින ලද බෞද්ධ කොඩියේ අඟලෙන් අඟලට ඇණ ගසා මෙම පුදබිමේ බිත්තියක ගසා තිබෙන ලදී. ඒ ආකාරයෙන් මෙම පුදබිම රකින්නට එකල වැඩ සිටි හිමිවරුන් මහත් වීරියක්‌ ගන්නට වූහ.

මෙම පුදබිම පුරා පුරාවස්‌තු රැසක්‌ විසිර තිබෙන අතර ඉපැරණි පිළිම ගෙය සුවිශේෂී බවක්‌ උසුලයි. ඒ සමඟ ඒ දෙපස ඇත්තේ මුරගල් යුගලයකි. 07 වැනි සියවසට අයත් යෑයි සැලකෙන බුදුපිළිම වහන්සේගේ ප්‍රතිමාව දෙපස අවලෝකිතේශ්වර බෝධි සත්ව ප්‍රතිමා දෙකකි. තවද මීට වසර කිහිපයකට පෙර මෙම ප්‍රදේශයේ වැලි තලාවෙන් වැසී ගිය නටබුන් රැසක්‌ මතු වන ලදී. මේ ආකාරයෙක්‌ විශාල භූමියක්‌ පුරා විසිරී පවතින මෙම පුදබිම ආශ්‍රිතව නිසි කැණීමක්‌ සිදු නොකර තිබෙන නිසා තවමත් මෙම අතීත තොරතුරු වසන්ව ඇත.

ඒ අනුව මේ වන විට අන්තවාදීන්ගේ දැඩි තර්ජනයක්‌ එල්ලව ඇති මෙම පුදබිම අද මනස්‌කාන්ත පුදබිමක්‌ බවට පත්ව ඇත්තේ ඉන්දසිරි හිමියන්ගේ දැඩි කැපවීමක ප්‍රතිඵලයක්‌ නිසාය. නව බුද්ධ මන්දිරය සහ තැන් තැන්හි පිළිම වහන්සේලා ඉදිවෙමින් රණවිරුවන්ගේ දායකත්වයෙන් සහ පරිත්‍යාගශීලීන්ගේ සහායෙන් ඉදිවුණ දාගැබ මේ වන විට මුහුදු මහා විහාරස්‌ථානයට මහත් අභිමානයක්‌ ගෙන දෙයි. නමුත් අදටත් මෙ විහාරස්‌ථානය වෙත එල්ලව ඇති තර්ජන නම් කිසිම අඩුවක්‌ දක්‌නට නැත. අහස උසට අපේකම සමඟින් ඉහළට එසවී යන මෙම දාගැබ අසල මේ වන විට විහාරස්‌ථානය සතු භුමිය විවිධ පුද්ගලයන් විසින් වැටවල් ගසමින් අත්පත් කරගනිමින් සිටින්නේ නිතිය තඹයකට හෝ මායිම් නොකරමිනි. එසේ අල්ලා ගත් භූමිය වැලි ඉවත් කර දැන් ඩෝසර් යොදා සංවර්ධනය කරමින් සිටිති. එසේ ඉදිකරන ලද දාගැබට නුදුරින් මේ ආකාරයෙන් වැලි ඉවත් කර කටයුතු කිරීම නිසා මෙම දාගැබට මහත් හානියක්‌ සිදුවීමට ඉඩ ඇත.

මෙවන් තත්ත්වයක්‌ යටතේ ගැටලු රැසක්‌ මැද මෙම පුදබිම රැකගන්නට අපේ හිමිවරුන්ට ඔබගේ සහාය අත්‍යවශ්‍යව ඇත. මෙම පොතුවිල ප්‍රදේශයේ සංචාරයට පැමිණෙන අය බලවත් ගැටලුවකට මුහණපා ඇත. ඒ විශ්‍රාම ශාලා නිසි පරිදි නොමැති වීමයි. මුහුදු මහා විහාරයේ තිබෙන කුඩා විශ්‍රාම ශාලාව ප්‍රමාණවත් නොවන නිසා දෙමහල් විශ්‍රාම ශාලාවක්‌ ඉදිකරන්නට කොළඹ ආනන්ද විද්‍යාලයේ සේවය කරන ලද ජී.එල්. ආරියපාල, නෙල්සන් විඡේසේන, මහින්දපාල ද සිල්වා, ආරියවංශ මුතුගම සහ ප්‍රේමදාස ජයසිංහ යන ගුරු පියවරුන් පස්‌දෙනකු වැඩ කටයුතු ආරම්භ කරන ලදී. ඒ අනුව පරිත්‍යාගශිSලීන්ගේ සහාය මත මේ වන විට දෙමහල් විශ්‍රාම ශාලාවේ බොහෝ වැඩකටයුතු ප්‍රමාණයක්‌ නිමව තිබුණත් ඉතිsරි වැඩකටයුතු සඳහා ද විශාල මුදලක්‌ වැය වන නිසා මෙම සත් කාර්යය සිදුකරන පිරිස ප්‍රතිපාදන සොයා ගැනීමට අපහසුව දැඩි ගැටලුවකට පත්ව ඇත.

මුහුදු මහා විහාරයේ වියළි වැලි කතර මත ගඩොලින් ගඩොල තැබී ඉහළට නැඟුණු මෙම විශ්‍රාම ශාලා ගොඩනැඟිල්ල මේ වන විට මුළුමනින්ම වාගේ ඉදිව ඇත. දැන් ඇත්තේ වහළ සෙවිලි කිරීම. කපරාරු කිරීමටය. ජනෙල් දොරවල් සවිකර නිමා කිරීමටය ඒ සඳහා විශාල මුදලක්‌ වැය වෙනු ඇත.

මෙම සත්කාර්යය සඳහා පුරෝගාමීව කටයුතු කරමින් සිටින ජී.එල්. ආරියපාල මහතා මෙසේ අදහස්‌ දක්‌වා සිටින ලදී.

පොතුවිල මුහුදු මහා විහාරය කියන්නේ දැඩි ගැටලු රැසකට ලක්‌වූ අපේ පෞරාණික පුදබිමකි. දහසක්‌ බාධක මැද මේ වන විට අතීතයේ සිට මේ දක්‌වා අපට දැකගන්නට හැකි සේ පුරාවස්‌තූන් රැසක්‌ මේ තරමින්වත් ඉතිරිව තිබිම අනාගත පරපුරේ භාග්‍යයක්‌. ඒ නිසා මෙම පුද බිම අපි රැකගත යුතුයි. වසර ගණනක්‌ තිස්‌සේ මෙම ස්‌ථානය හුදෙකලාව තිබීම නිසා බොහෝ දෙනෙකුගේ වැඩි අවධානයකට ලක්‌ නොවීම නිසා අවට පදිංචිකරුවන්ගෙන් නිසා දැඩිසේ තර්ජනයට ලක්‌වූ පුදබිමක්‌. ඒ නිසා මෙම පුදබිම රැකගැනීමට නිරන්තරයෙන් සහාය දෙන ලෙස අපි ඉල්ලා සිටිනවා යෑයි ද ආරියපාල මහතා 'ඉරිදා දිවයින'ට අදහස්‌ දක්‌වමින් පවසා සිටින ලදී.

මෙම අවස්‌ථාවේදී අදහස්‌ දැක්‌වූ ආදි ආනන්ද ගුරු සංගමයේ සභාපති නෙල්සන් විඡේසේන මහතා මෙසේ පැවසුවේය.

"අපි මෙම විහාරස්‌ථානය වෙත පැමිණි විට කුමක්‌ හෝ කරන්නට අවශ්‍යයයි කියන අදහස හිතට ආවා. ඒ අනුව ආනන්දයේ මිතුරන් පස්‌දෙනෙක්‌ එකතුවෙලා කොහොම හරි මෙම පුදබිමට පැමිණෙන අයට නවාතැන් පහසුකම් සලසාදිය හැකි ආකාරයේ හොඳ දෙමහල් විශ්‍රාම ශාලාවක්‌ සෑදිය යුතු යෑයි තීරණය කළා. ඒ අනුව මේ වන විට අපි දෙමහල් විශ්‍රාම ශාලා ගොඩනැඟිල්ල ඉදිකර තිබෙනවා. වහළය සකස්‌කර ඉතිරි වැඩකටයුතු සිදු කිරීමට අවශ්‍යයි. ඒ සඳහා විශාල මුදලක්‌ වැය වෙනවා. මේ ආකාරයෙන් මේ වන විට මෙම සත්කාර්යය සඳහා බොහෝ දෙනෙක්‌ නොමසුරු සහාය ලබා දුන්නා. ඒනිසා මේ සත් කාර්යය මෙතෙක්‌ සාර්ථකව කරගෙන ඒමට හැකි වුණේ. ඒ නිසා මෙතෙක්‌ අපිට සහාය දුන් ආකාරයට ඉදිරියටත් මේ ආකාරයට මෙම දෙමහල් විශ්‍රාම ශාලාව ඉදිකිරීම සඳහා සහාය දෙන ලෙස අපි ඉල්ලා සිටිනවා.

පොතුවිල මුහුදු මහා විහාරාධිපති වරකාපොල ඉන්දසිරි හිමියන්ද මෙසේ අදහස්‌ දැක්‌වූහ. 

තවමත් මෙම විහාරස්‌ථානය වෙත තිබෙන බාධා ඉවත්ව නැහැ. මේ වන විට පරිත්‍යාගශීලීන්ගේ නොමසුරු සහයෝගයෙන් විහරස්‌ථානය ගොඩනඟාගෙන යනවා. විහරස්‌ථානයට අඩුවක්‌ව පැවති දාගැබ ඉදිකිරීම සඳහා නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය කපිල ගුණවර්ධන මහතා ඇතුළු විශේෂඥ වෙද්‍යවරු පිරිසක්‌ නොමසුරු ධන පරිත්‍යාග කිරීම නිසා යුද හමුදාවේ රණ විරුවන්ගේ ශ්‍රම දායකත්වයෙන් අලංකාර දාගැබක්‌ ඉදිකිරීමට හැකිවූවා. කොළඹ ආනන්ද විද්‍යාලයේ සේවය කළ ගුරු මහත්වරුන් පස්‌දෙනකුගේ මූලිකත්වයෙන් තවත් පරිත්‍යාග ශීලීන්ගේ ආධාර උපකාර මත මේ වන විට මෙම පුදබිමට බලවත් අඩුපාඩුවක්‌ව පැවති විශ්‍රාම ශාලාවක්‌ ඉදිකරන්නට කටුයතු ආරම්භ කර මේ වන විට ඉතා සාර්ථකව ඒ කටයුත්ත සිදු කරගෙන යනවා. මේ වන විට ඒ සියලු පිංවතුන්ට මෙම විහාරස්‌ථානය හුදෙකලා වන්නට ඉඩ නොදී රැකගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ස්‌තුතිය පුද කරනවා යෑයි ද ඉන්දසිරි හිමියන් ප්‍රකාශ කරන ලදී. 

ඒ සඳහා සම්පත් බැංකුවේ පොතුවිල් ශාඛාවේ 0130 5000 3382 යන පොතුවිල් මුහුදු මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වරකාපොළ ඉන්දසිරි හිමි සහ විශ්‍රාම ශාලාව ඉදිකිරීමේ කමිටුවේ භාණ්‌ඩාගාරික එන්. විඡේසේන මහතා නමින් ඇති බද්ධ ගිණුමට බැර කිරීමට හැකිය. දහසක්‌ වූ බාධක මැද හෙට දිනයේ මෙම පුදබිමට පැමිණෙන බැතිමතුන් උදෙසා සිදුකරගෙන යනු ලබන මෙම සත්කාර්ය වෙනුවෙන් ඔබගේ නොමසුරු සහාය ද ඔවුන් බලාපොරොත්තු වෙති .

කලක සිට මෙම පුදබිම බෞද්ධයන්ගෙන් ඈත්ව තිබුණි. ඒ අතරවාරයේ අවසානයේ හිමිවූයේ අක්‌කර තුනකි. දැන්වත් මෙපින් බිම රැකගන්න ඔබේ සහාය අත්‍යවශ්‍යවම ඇත. ඒ නිසා ආනන්ද විදුපියසේ ආදි ගුරුවරුන් කිහිප දෙනකු මුල්වී කරනා මෙම සත්කාර්යයට ඔබේ සහාය ද ලැබෙන්නේ නම් අභියෝග මැද ගොඩනැඟෙන මුහුදු මහා විහාරයේ උන්නතියට එය මහත් ශක්‌තියක්‌ වෙනු ඇත.

සුසන්ත අමරබන්දු
Related Posts:

Visitor Counter

Short News

Hot Posts

Social